Saturday, September 20, 2014

අද සුපුවත -සැප්තැම්බර් මස 20

පළමු කියවීම/1කොරින්ති 15:35-37,42-49

 

35 එහෙත් මළවුන් උත්ථාන වන්නේ කෙසේ ද? ඔව්හු කුමන ආකාර ශරීරයක් ඇති ව එත් දැ යි කෙනෙකු අසන්නට පුළුවන. 36 මොන තරම් මෝඩ ප්‍රශ්නයක් ද? ඔබ ම වපුරන දෙය මළොත් මිස එයට නව දිවියක් ලැබෙන්නේ නැත. 37 ඔබ වපුරන්නේ මතු හටගන්නා වැඩුණු පැළය නොව, තිරිඟු හෝ වෙනත් ධාන්‍ය වර්ගයක හුදු බීජයක් පමණ ය. 42 මළවුන්ගෙන් උත්ථානය ඊට සමාන ය. වළලනු ලබන සිරුර දිරා යන්නකි. උත්ථාන කරනු ලබන්නේ නොදිරන්නකි. 43 වළලනු ලබන්නේ අගෞරවාන්විත වූවකි, උත්ථාන කරනු ලබන්නේ තේජාන්විත වූවකි. වළලනු ලබන සිරුර දුබල වූවකි, උත්ථාන කරනු ලබන්නේ ප්‍රබල වූවකි. 44 වළලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇති සේ ම ආත්මික ශරීරයක් ද ඇත. 45 එසේ ම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: ''පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය.'' අන්තිම ආදම් ජීවනදායක ආත්මයාණන් කෙනෙක් වූ හ. 46 එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව, ස්වාභාවික දේ ය. පසුව ආත්මික දේ පැමිණේ. 47 පළමු මිනිසා භූමියෙන් ය; ඔහු භෞමික ය; දෙවෙනි මිනිසා ස්වර්ගයෙන් ය; (ඔහු ස්වර්ගීක ය), 48 භෞමික තැනැත්තා යම් සේ ද භෞමික වූවෝත් එසේ ම ය. ස්වර්ගීක තැනැත්තා යම් සේ ද, ස්වර්ගීක වූවෝත් එසේ ම ය. 49 අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේ ම, ස්වර්ගීක තැනැත්තාගේ ස්වරූපය ද දරන්නෙමු. 

සුවිශේෂය/ලූක් 8:4-15

 

ඒ ඒ නුවරින් මිනිසුන් උන් වහන්සේ වෙත පැමිණ, මහා පිරිසක් රැස්වූ කල උන් වහන්සේ උපමාවකින් මෙ‍සේ වදාළ සේක: 5 ''වපුරන්නෙක් බීජ වපුරන්න නික්මිණි; ඔහු වපුරන කල බීජ සමහරක් මඟ දිගේ වැටී පයින් පෑගිණි; අහසේ කුරුල්ලෝ ඒවා අවුළා කෑහ. 6 අන් සමහරක් ගල් බිමෙ‍හි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය. 7 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ ද ඒ සමඟ ම වැඩී ඒවා යටපත් කර දැමී ය. 8 අන් සමහරක් සරු බිමේ වැටී, පැළ වූ විට එකකින් සිය ගුණයක් අස්වැන්න ඇති විය.'' උන් වහන්සේ මෙ‍සේ වදාරා, තවදුරටත්, ''සවන් ඇත්තෝ සවන් දෙත් වා!''යි හඬ නඟා වදාළ සේක.

9 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ''ඒ උපමාවේ තේරුම කිමෙ‍ක් දැ''යි උන් වහන්සේගෙන් විමසූ හ. 10 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ''දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.''

11 ''උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය. 12 මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය. 13 ගල් බිමෙ‍හි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය. 14 කටු අතර වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය අසා ජීවිතයේ කම්කටොලුවලින් ද වස්තුවෙන් ද ඉඳුරන් පිනවීමෙ‍න් ද වචනය හිර වී සම්පූර්ණ පල නොදරන අය ය. 15 සරු බිමේ වැපුරූ බීජ යන්නෙන් අදහස් කරනුයේ අවංක, පිරිසිදු සිතකින් වචනය අසා, පිළිපැද, නොපසුබට වීර්යයෙන් පල දරන අය ය.''



--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment