Tuesday, February 17, 2015

Ada Supuwatha අද සුපුවත 17.02.2015

සමිදාණෝ සිය සෙනග සමාදානයෙන් ආශිර්වාද කරන සේක

පළමු කියවීම/උත්පත්ති 6:5-8,7:1-5,10

 5 මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට 6 මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි. 7 එබැවින් උන් වහන්සේ, ''මා විසින් මවන ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම ගැන මම තැවෙමි''යි වදාළ සේක. 8 එහෙත් උන් වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය. 

1 සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, ''නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. 2 තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද 3 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන යන්න. 4 තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයනේ ඉවත් කරදමන්නෙමි''යි වදාළ සේක. 5 නෝවා ද සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය

10 සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය.

 

සුවිශේෂය/මාක් 8:14-21

14 රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. 15 උන් වහන්සේ කතා කොට, ''සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ''යි ඔවුන්ට අණ කළ සේක. 16 ''එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ''යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 17 ජේසුස් වහන්සේ එපවත් දැන, ''රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද? 18 ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද? 19 මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ''යි ඇසූ සේක. ''දොළොසකැ''යි ඔව්හු කී හ. 20 ''රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ''යි ඇසූ සේක. ''සතක්'' යයි ඔව්හු කී හ. 21 ''තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.


--

No comments:

Post a Comment