Sunday, February 22, 2015

Ada Supuwatha අද සුපුවත 22.02.2015

සමිදුනි, ඔබ වහන්සේගේ මාවත් මට පැහැදිලි කල මැනව

 

පළමු කියවීම/ උත්පත්ති 9:8-15

8 දෙවියන් වහන්සේ නෝවාට ද ඔහුගේ පුත්‍රයන්ට ද කතා කොට, 9 ''මෙන්න, මම නුඹලා සමඟ ද නුඹලාගේ පෙළපත සමඟ ද 10 නුඹලා සමඟ නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන, පක්ෂීන්, ගවමහිෂයන් හා මෘගයන් සමඟ ද ගිවිසුමක් පිහිටුවමි. 11 නුඹලා සමඟ පිහිටුවන ලද ගිවිසුම වනාහි මින්පසු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින්පසු කවදා වත් ජලගැල්මකින් මහ පොළොව වනසනු නොලබන බවත් ය''යි වදාළ සේක. 
12 තවද, දෙවියන් වහන්සේ කතා කොට, ''මා හා නුඹලා ද, නුඹලා සමඟ සිටින සියලු ජීවමාන සතුන් ද අතර, මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙය යි. 13 වලාකුළුවල මම මාගේ දේදුන්න තබමි; මා හා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේ ය. 14 පොළොවට ඉහළින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල, 15 මා හා නුඹලා ද, සියලු ජීවමාන සතුන් ද අතර මින් මතු කවදා වත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. 

 

දෙවන කියවීම/1 පේදුරු 3:18-22

18 ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.

19 එම ආත්මික ස්වභාවයෙන් උන් වහන්සේ ගොස් සිර ගෙයි සිටි ආත්මයන්ට ප්‍රකාශ කළ සේක. 20 ඔව්හු වනාහි නො‍්වාගේ කාලයේ දී ඔහු නැව සාදන අතර, දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටිය දී උන් වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුළු වූ, ස්වල්ප දෙනෙක්, එනම්, අට දෙනෙක් වතුරෙන් ගළවනු ලැබුවෝ ය. 21 මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය. 22 උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.

සුවිශේෂය /මාක් 1:12-15

12 එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක. 13 උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ.

14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ''නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න'' යනුයි.

 


--

No comments:

Post a Comment