Monday, March 2, 2015

Ada Supuwatha අද සුපුවත 02.03.2015

සමිදුනි අපේ පාප වලට සරිලන ලෙස අපට දඬුවම් නොකළ මැනව

පළමු කියවීම/ දානියෙල් 9:4-10

4 මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි: 
''අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක.

 5 දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු. 6 ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.

7 අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.

8 සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය. 9 උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය. 10 අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු.

 සුවිශේෂය/ ලූක් 6:36-38

36 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.''                                                                     37 ''අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.                                                                                                                                                           38 අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය''යි වදාළ සේක.


--

No comments:

Post a Comment