Tuesday, September 23, 2014

අද සුපුවත-සැප්තැම්බර් මස 23-අගහරුවාදා http://supuwatha.blogspot.com/

පළමු කියවීම/ හිතෝපදේශය 21:1-6,10-13

  1 රජුගේ සිතුම්පැතුම් සමිඳුන්ගේ පාලනය යටතේ ය, එතුමාණෝ ඒවා දිය පාරක් මෙන් රිසි අතට හරවන සේක.

2 මිනිසෙකුට තමන් කරන කොයි දෙයත් හරි යයි පෙනේ, එහෙත් සමිඳාණෝ මිනිස් හදවත කිරා බලන සේක.
3 දැහැමිකම හා යුක්තිය ඉටු කරන්න, එය පුද පඬුරුවලට වඩා සමිඳුන්ට ප්‍රසන්න ය.
4 උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.
5 හිතා මතා, ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය;
ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය.
6 වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි,
ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.

10 දුදනන්ගේ සිත නැමෙන්නේ නපුරට ම ය;
ඔවුන්ගෙන් කිසිවෙකුට කරුණාවක් නැත.
11 උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි.
නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.
12 දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක;
දුදනන් විනාශ කර දමන සේක.
13 දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.


සුවිශේෂය/ලූක් 8:19-21

19 උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය. 20 එවිට, ''ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති''යි උන් වහන්සේට දන්වනු ලැබී ය. 21 එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ''මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති''යි වදාළ සේක.

 

 

--
Dear Brothers & Sisters, please visit
http://supuwatha.blogspot.com/  for full text of daily readings & more....
God Bless you...

No comments:

Post a Comment