Friday, February 6, 2015

අද සුපුවත 06.02.2015

පළමු කියවීම/හෙබ්‍රෙව් 13: 1-8

1 සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න. 2 ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ. 3 සිර ගෙයි සිටින අය සමඟ ඔබත් සිටිනවා යයි සිතා, ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින්, දුක් පීඩා විඳින්නන් සිහි කරන්න. 
4
විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත. 
5
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, ''මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි''යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ. 
6
මෙසේ: ''සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. 
මිනිසා මට කුමක් කරයි ද?'' 
කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.

7 දෙවියන් වහන්සේගේ වචනය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන්ගේ ජීවිත පැවැත්මේ ප්‍රතිඵල දෙස බලමින්, එම ඇදහිල්ල අනුගමනය කරන්න. 8 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.

 

සුවිශේෂය/මාක් 6:14-29

18 ''ඔබේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම ඔබට යුතු නැතැ''යි ජොහන් හෙරොද්ට කී බැවින්, 19 හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය. 20 මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය. 
21 සුදුසු අවස්ථාවක් පැමිණියෙන්, හෙරොද් සිය ජන්මො‍්ත්සව දින, තමාගේ උසස් නිලධාරීන්ට ද ප්‍රධාන සේනාධිපතීන්ට ද ගලීලයේ ප්‍රභූවරයන්ට ද මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 22 එවිට හෙරෝදියස්ගේ දුව එහි පිවිස රඟ පා, හෙරොද්ගේ සහ ඔහු සමඟ භෝජන සංග්‍රහයට පැමිණ සිටි අමුත්තන්ගේ නෙත් සිත් පිනවූවා ය. එකල රජතුමා තරුණියට කතා කොට, ''ඔබ කැමැති ඕනෑම දෙයක් මාගෙන් ඉල්ලන්න, එය ඔබට දෙමි''යි කී ය. 23 තවද, ''ඉල්ලන ඕනෑම දෙයක්, මාගේ රාජ්‍යයෙන් අඩක් වුවත්, ඔබට දෙමි''යි ඔහු ඇයට දිවුරුම් දුන්නේ ය. 24 ඈ පිටතට ගොස්, ''මම කුමක් ඉල්ලම් දැ''යි ඇගේ මවගෙන් ඇසුවා ය. ''ස්නාවක ජොහන්ගේ හිස'' යයි ඈ කීවා ය. 25 එවිට තරුණිය වහා ම රජු වෙත පැමිණ, ''ඔබ ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා දැන් මට දෙනු මැනව''යි කීවා ය. 26 රජතුමා අතිශයින් ශෝක විය. එහෙත්, ඔහුගේ දිවුරුම නිසා ද, අමුත්තන් නිසා ද, ඈට දුන් පොරොන්දුව කඩ කරන්න අකමැති විය. 27 එකෙණෙහි ම රජතුමා මුර සෙබළෙකු යවමින් ජොහන්ගේ හිස ගෙනෙන්න අණ කෙළේ ය. ඔහු ද ගොස් හිර ගෙයි දී ජොහන්ගේ හිස ගසාදමා 28 එය තැටියක ලා ගෙනවුත්, තරුණියට දුන්නේ ය; තරුණිය ද එය මවට දුන්නා ය. 29 ජොහන්ගේ ගෝලයෝ ඒ ගැන අසා අවුත්, ඔහුගේ මෘත දේහය ගෙන ගොස්, සොහොන් ගෙයක තැන්පත් කළහ.



සමිදු මගෙන්  අප ඉවත් වන්නේත්, යහපත වෙනුවට අයහපත අප තුලින් ඉටු වන්නේත් පාපයට අපගේ ඇති වහල් බව නිසාය.අපගේ පරීක්ෂාවන්ට අවදිවී ඉන් මිදෙමු. ඒ සඳහා සමිදුන්ගේ සවිය පතමු 


--

No comments:

Post a Comment