පළමු කියවීම/උත්පත්ති 1:1-19
ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 2 පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. aදේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. 3 එවිට දෙවියන් වහන්සේ, ''ආලෝකය වේ වා!''යි වදාළ සේක; ආලෝකය විය. 4 ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර 5 ආලෝකයට ''දවාල'' කියා ද, අන්ධකාරයට ''රාත්‍රිය'' කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.
6 ඉන්පසු දෙවියන් වහන්සේ, ''ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!''යි වදාළ සේක. එසේ ම විය. 7 මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර 8 අහස් කුසට ''අහස'' කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය.
9 ඉන්පසු දෙවියන් වහන්සේ, ''ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!''යි වදාළ සේක. එසේ ම විය. 10 ගොඩබිමට ''පොළොව'' කියා ද, ජලයට ''සාගරය'' කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.
සුවිශේෂය/මාක් 6:53-56
53 ඔව්හු එගොඩ වී ගෙන්නෙසෙරෙත් රටට පැමිණ ඔරුව වෙරළෙහි බැන්දෝ ය. 54 ඔවුන් ඔරුවෙන් නික්මුණු කෙණෙහි ම ජනයා උන් වහන්සේ හැඳිනගත්හ. 55 ඔව්හු ඒ අවට රට පුරා දිව ගොස්, උන් වහන්සේ යම් තැනකට ආ බව පතළ වී ද, එතැනට රෝගීන් යහන් පිටින් උසුලා ගෙනෙන්න පටන්ගත්හ. 56 උන් වහන්සේ යම් කිසි ගම්මානයකට හෝ ගොවිපොළකට හෝ නුවරකට හෝ ඇතුළු වූ සේක් ද, එහි ඔව්හු රෝගීන් කඩපිල්වල තබා, ඔවුන්ට උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න ඉඩ දෙන ලෙස ඉල්ලූ හ. එසේ ස්පර්ශ කළ හැම දෙනාට ම සුවය ලැබිණි.
No comments:
Post a Comment