Tuesday, February 10, 2015

අද සුපුවත 10.02.2015

පළමු කියවීම/උත්පත්ති 1:20-2:4

ඉන්පසු දෙවියන් වහන්සේ; ''අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!''යි අණ කළ සේක. 
27
දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; 
දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; 
පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. 
28
දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ''නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ''යි ඔවුන්ට වදාළ සේක. 29 තවද, උන් වහන්සේ, ''මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! 30 එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි''යි වදාළ සේක. එසේ ම විය. 31 දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.

සුවිශේෂය/මාක් 7:1-13

1 තවද, ජෙරුසලමෙන් පරිසිවරු ඇතැම් විනයධරයන් හා සමඟ උන් වහන්සේ වෙතට පැමිණ, 2 උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය. 3 පරිසිවරුත්, සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් සෝදාගෙන මිස කෑම නොකන්නෝ ය. 4 වෙළඳ පොළේ සිට ආ විට, ධෝවනය නිමවා මිස, ඔව්හු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායයන් ඇත. එනම්, පිඟන්, කළගෙඩි සහ ලෝකඩ හැළිවළං සේදීම ය. 5 පරිසිවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අමතා, ''ඔබේ ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැ''යි ඇසූ හ. 6 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''කෛරාටිකයෙනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස, ඔබ ගැන යෙසායා කී මේ දිවැස් වැකිය මැනවින් ඔබට ගැළපේ: 
'
මුවින් මේ සෙනඟ මට ගරු කරති; 
සිතින් නම් මගෙන් දුරු ව සිටිති. 
7
මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නමදිති.'
8
ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන්ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නහු ය''යි වදාළ සේක.
9
උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: ''ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය. 10 මක්නිසා ද 'ඔබේ පියාට ද මවට ද, ගෞරව කරන්නැ'යි ද, 'පියාට හෝ මවට නිග්‍රහ කරන්නා මරණ දඬුවම ලැබිය යුතු ය'යි ද මෝසෙස් පවසා ඇත. 11 එහෙත්, යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට, 'මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකැ'යි කී පසු 12 එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. 13 මෙසේ කීමෙන්‍ ඔබ අතර පැවත එන ඔබේ ම සම්ප්‍රදායයෙන් ඔබ දෙවියන් වහන්සේගේ වචන අවලංගු කරන්නහු ය. එවැනි තවත් දේ ඔබ කරන්නහු ය''යි වදාළ සේක.


--

No comments:

Post a Comment