Thursday, February 12, 2015

Ada Supuwatha අද සුපුවත 12.02.2015


පළමු කියවීම/උත්පත්ති 2:18-25

 පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, ''මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි''යි වදාළ සේක. 19 මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. 20 මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය. 
21
එවිට දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා බර නින්දකට පත් කළ සේක. ඔහු නිදා සිටිය දී උන් වහන්සේ ඔහුගේ ඉල ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය වසා දැමූ සේක. 22 උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. 23 එවිට මිනිසා කතා කොට, 
''
දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට 'ස්ත්‍රී' කියා කියනු ඇතැ''යි 
පැවසී ය. 24 මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය. 25 මිනිසාත්, භාර්යාවත් දෙදෙනා ම නග්න ව සිටි නමුත් ඔව්හු ලජ්ජා නොවූ හ.

සුවිශේෂය/මාක් 7:24-30

 උන් වහන්සේ එතැනින් නික්ම තීර් පෙදෙස් බලා පිටත් ව ගොස්, ගෙයකට ඇතුළු වූ සේක. කිසිවෙකු ඒ බව දැනගන්නවාට අකමැති වූ නමුත්, සැඟවී සිටීමට උන් වහන්සේට නොහැකි විය. 25 එකෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවක ඇති ස්ත්‍රියක් උන් වහන්සේ ගැන අසා අවුත් උන් වහන්සේගේ පාමුල වැටුණා ය. 26 ඈ සිරියාවේ පිනීසිය නම් පෙදෙස්හි උපන් ග්‍රීක් ජාතික ස්ත්‍රියකි. ඇගේ දුවගෙන් දුෂ්ටාත්මය දුරු කරන ලෙස ඈ උන් වහන්සේගෙන් අයැද සිටියා ය. 27 උන් වහන්සේ ඈට උත්තර දෙමින්, ''පළමුකොට දරුවෝ තෘප්තියට පැමිණෙත් වා! දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම හරි නැතැ''යි වදාළ සේක. 28 එහෙත් ඈ උත්තර දෙමින්, ''එසේය, ස්වාමීනි, මේසය යට සිටින බල්ලෝ වුව ද දරුවන්ගේ කෑමෙන්‍ වැටෙන කැබෙලි අවුලා කති''යි උන් වහන්සේට කීවා ය. 29 උන් වහන්සේ ද කතා කරමින්, ''මේ පිළිතුර නිසා ප්‍රීතියෙන් යන්න, දුෂ්ටාත්මය ඔබේ දුවගෙන් දුරු ව ගියේ ය''යි ඈට වදාළ සේක. 30 ඈ ගෙදර ගිය කල, ඇගේ දුව ඇඳේ හාන්සි වී සිටින බවත්, දුෂ්ටාත්මය දුරු වූ බවත් දුටුවා ය.

--

No comments:

Post a Comment