Friday, February 13, 2015

Ada Supuwatha අද සුපුවත 13.02.2015

පාපයට සමාව ලද මිනිසා ආසිරි ලද්දෙකි

පළමු කියවීම/උත්පත්ති 3:1-8

දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, ''උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ''යි ඇසී ය. 2 ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, ''උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. 3 එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය''යි කීවා ය. 
4
එවිට සර්පයා පිළිතුරු දෙමින්, ''සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. 5 ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ''යි කී ය. 
6
ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. 7 එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ. 
8
ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ.


සුවිශේෂය/මාක් 7:31-37

 31 යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32 එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33 උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34 ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ''එප්පාතා''යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, 'ඇරේවා' යනු යි. 35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36 ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37 එය ඇසුවෝ අතිශයින් මවිත ව, ''උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ''යි කී හ.


 සමිදාණෝ අපට කතා කරන නමුත් අප බිහිරිය ...යහපත අන් අය සමග බෙදා ගැනීමට ගොළුය ...අද අපගේ බිහිරි බව ගොළු බව සුව කරන්නැයි සමිදාණන් යදිමු.

--

No comments:

Post a Comment