Sunday, February 15, 2015

Ada Supuwatha අද සුපුවත 15.02.2015

සමිදුනි ,මා රැකවරණය ඔබ වහන්සේය


පළමු කියවීම/ලෙවි 1:1-2,44-46

1 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: 2 ''යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය. 

 44 ඔහු හමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍ර ය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. 45 බෝවෙන චර්ම රෝගියා ද තම වස්ත්‍රය ඉරාගෙන, තම හිසකෙස් අවුල් කොටගෙන, තම උඩු තොල වක්ත්‍ර පටියකින් වසාගෙන, 'අපවිත්‍ර ය, අපවිත්‍ර ය'යි කෑගැසිය යුතු ය.

46 බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුළ ම ඔහු කෙලෙසුණු, අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලා ව විසිය යුතු ය. 


දෙවන කියවීම/1 කොරින්ති 10:31-11:1

31 එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න. 32 ජුදෙව්වරුන්ට වත්, ග්‍රීකයන්ට වත්, දෙවියන් වහන්සේගේ සභාවට වත් බාධාවට හේතුවක් නොවන්න.

33 මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.

 මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.


 සුවිශේෂය /මාක් 1:40-45

 40 එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, ''ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය''යි අයැද සිටියේ ය. 41 උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, ''මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ''යි වදාළ සේක. 42 එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය. 43 උන් වහන්සේ, ''මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ''යි ඔහුට තදින් අණ දී, 44 ''යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න'' කියා ඔහු වහා පිටත් කර යැවූ සේක. 45 එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.


--

No comments:

Post a Comment