Monday, March 9, 2015

ADA SUPUWATHA අද සුපුවත 09.03.2015

ජීවමාන දෙවිදුන් කෙරෙහි මාගේ සිත පිපාස වන්නේය 

පළමු කියවීම /2 රාජාවලිය 5:1-15

1 සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකු ව ගරුබුහුමන් ලැබූ මනුෂ්‍යයෙකු ව සිටියේ ය. මන්ද, ඔහු කරණකොටගෙන සමිඳාණන් වහන්සේ සිරියන්වරුන්ට ජය දී තිබිණි. ඔහු බලසම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. 2 සිරියන්වරුන්ගේ එක්තරා ආක්‍රමණයක දී ඔවුන් ඉශ්රායෙල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිණි. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළා ය. 3 ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට, ''මාගේ ස්වාමියා සමාරියේ දිවැසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳ‍ ය; එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැ''යි කීවා ය. 4 එවිට නාමන් ගොස් ඉශ්රායෙල් දේශයෙන් ආ දැරිය කී දේ එලෙස ම කියා තමාගේ ස්වාමියාට දැන්වී ය. 5 සිරියාවේ රජ ද, ''ඉතින් ඔබ එහි යන්න; මම ඉශ්රායෙල් රජුට ලියුමක් හරින්නෙමි''යි කී ය. 
ඔහු ද රිදී කාසි තිස්දාහකුත්, රන් කාසි හයදාහකුත්, ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත් ව ගියේ ය. 
6 ඔහු ඒ ලියුම ඉශ්රායෙල් රජු වෙත ගෙනාවේ ය. ''මේ ලියුම ඔබට ලැබුණු විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි''යි එහි ලියා තිබිණි. 
7 ඉශ්රායෙල් රජ ලියුම කියවා, පුදුම වී තමාගේ ඇඳුම් ඉරාගෙන, ''මනුෂ්‍යයෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා මොහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත්, ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙන ද? මොහු මට විරුද්ධ ව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නැ''යි කී ය. 
8 ඉශ්රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂා අසා, ''ඔබ කුමක් නිසා ඔබේ ඇඳුම් ඉරාගන්නෙහි ද? ඔහු මා ළඟට ආවා වේ. එවිට ඔහු ඉශ්රායෙල්හි දිවැසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ ය''යි රජුට කියා යැවී ය. 
9 මෙසේ නාමන් තමාගේ අශ්වයන් ද රථ ද ඇති ව අවුත් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේ ය. 10 එලිෂා කතා කොට, ''ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත් වරක් නාන්න; එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ ය''යි පණිවුඩකාරයෙකු අත කියා යැවී ය. 11 එහෙත්, නාමන් කෝප වී යන්
නට ගියේ ය. ඔහු කතා කොට, ''ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන, තමාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුව කරනු ඇතැ යි මම සිතුවෙමි. 12 දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්රායෙල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ‍ නොවේ ද? ඒවායේ ස්නානය කොට පවිත්‍රවන්න මට බැරි දැ''යි ඇසී ය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේ ය. 

13 ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට, ''මාගේ පියාණෙනි, දිවැසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද් ද? එසේ වී නම්, 'ස්නානය කොට පවිත්‍ර වන්නැ'යි ඔහු ඔබට කී කල එය කරන්න බැරි දැ''යි ඇසූ හ. 14 එවිට ඔහු බැස ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත් වරක් ගිලී ස්නානය කෙළේ ය. ඔහුගේ ශරීරය ද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. 15 එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට හැරී අවුත්, ඔහු ඉදිරියේ සිට කතා කොට, ''ඉතින් ඉශ්රායෙල්හි සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවැ''යි කී ය. 

සුවිශේෂය/ ලූක් 4:16,24-30

16 උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක. 24 'කපර්ණවුමෙ‍හි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙ‍හිදීත් කරන්නැ'යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. 25 සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර, 26 ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය. 27 දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය''යි වදාළ සේක. 28 ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ. 29 ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. 30 එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.

--

No comments:

Post a Comment