Friday, March 6, 2015

Sinhala Bible readings 06.03.2015

6

සමිදාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න

පළමු කියවීම/ උත්පත්ති  37:3-4,12-13,17-28

3 ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. 4 ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය. 

12 ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. 13 එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, ''නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි''යි කී විට, ජෝසෙප් ද, ''මම ලෑස්ති ය'' කියා උත්තර දුනි. 

 17 එවිට ඒ මිනිසා, ''ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. 'අපි දොතාන් නම් පෙදෙසට යමු'යි ඔවුන් කියනු මට ඇසිණි''යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ. 
18
ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. 19 ඔව්හු එකිනෙකා අමතමින්, ''ඔය එන්නේ ස්වප්නකාරයා. 20 දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, 'මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය'යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු''යි කතා කරගත්හ. 
21
රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, ''අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු''යි කී ය. 22 තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, ''ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ''යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය.

 23 ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, 24 ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය. 
25
ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. 26 එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, ''අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද?

27 එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ''යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. 28 මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. 

සුවිශේෂය/ මතෙව් 21:33-43,45-46

 

33 ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ''මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය. 34 අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. 35 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. 36 යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ. 37 අන්තිමට ඔහු, 'මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත' කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. 38 එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, 'මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු'යි ඔවුනොවුන් අතර කතා කොට, 39 ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ. 40 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?'' 41 ඔව්හු කතා කොට, ''ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ''යි කී හ.

42 ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: 
'' '
ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. 
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. 
අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය' 
යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද? 43 එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය.
45
නායක පූජකවරුත්, පරිසිවරුත්, උන් වහන්සේගේ උපමා අසා, ඒවා එල්ල කෙළේ තමන්ට බව දැන, 46 උන් වහන්සේ අල්ලාගන්න තැත් කළහ. එහෙත්, 'උන් වහන්සේ දිවැසිවරයෙකැ'යි ජනතාව සැලකූ හෙයින් ඔව්හු ඔවුන්ට බිය වූ හ.

 


--

No comments:

Post a Comment